තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින්, සහනාධාර තේ පොහොර බෙදාදීමේදී පැන නැගී තිබූ ගැටළු නිරාකරණය කරමින් QR ක්‍රමවේදය යටතේ නව පොහොර බෙදාදීම පසුගිය ඔක්තෝබර් මස පළමුවනදා සිට දිවයින පුරා ආරම්භ කරන ලදී.
පැවති ක්‍රමවේදය යටතේ පොහොර සංස්ථාවෙන් පමණක් පොහොර ලබාදීම සහ ඉඩම් ප්‍රමාණය මත පොහොර ප්‍රමාණය තීරණය කිරීම වැනි ගැටලු පැවතිණි. නව QR ක්‍රමවේදය යටතේ පොහොර ලේකම් කාර්යාලයේ අනුමත පොහොර සමාගම් වලින් මෙම සහනාධාර පොහොර නිකුත් කිරීම සහ පොහොර ලබාදීම කඩිනම් කිරීම සිදුවේ.
මෙතෙක් ඉඩම් ප්‍රමාණය මත පොහොර ප්‍රමාණය තීරණය වුවද, මෙම නව ක්‍රමවේදය යටතේ මාස තුනක දළු ප්‍රමාණයේ එකතුවේ සාමාන්‍ය අගය මත පොහොර සහනාධාරයේ ප්‍රමාණය තීරණය කිරීම සිදුවේ.
ඒ අනුව රජය විසින් කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් සඳහා රුපියල් 4,000ක මුදලක් ද, කිලෝග්‍රෑම් 25 පොහොර මිටියක් සඳහා රුපියල් 2,000ක මුදලක් ද කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් වෙත ලබා දීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
මෙම පොහොර ලබාදීමේ ක්‍රමවේදය හරහා පසුගිය ඔක්තෝබර් 31 වන විට අයදුම්පත් 95,230ක් ලැබී ඇති අතර, ඒ අතරින් 67,056 දෙනෙකු ලියාපදිංචි කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම, ගොවීන් 49,548 දෙනෙකු සඳහා QR කේතයන් ලබා දෙමින් සහනාධාර තේ පොහොර මෙට්‍රික් ටොන් 187.4ක් ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 49.33%ක ප්‍රගතියක් අත් කරගැනිමක් බව ද එම අමාත්‍යාංශය පැවසීය.