2025 වසරේදී වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ අධික බර හා තරබාරුකම වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වෙයි.
ඒ අනුව, මේ වසරේදී වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ අධික බර සහ තරබාරුකම ප්‍රතිශතයක් ලෙස 0.57%ක් ලෙස සටහන් වෙයි. එය ගිය වසරේ (2024) දී ප්‍රතිශතයක් ලෙස සටහන් වූයේ 0.49%කි.
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය වෙනුවෙන් මේ වසරේ ජුනි මාසය දක්වා කාලය තුළ වයස අවුරුදු පහට අඩු ළමයින් එකොළොස් ලක්ෂ හැත්තෑ තුන්දහස් දෙසිය තිස්හත් දෙනකු (1,173,237) යොදාගෙන මෙම සමීක්ෂණය සිදුකර ඇත.
අධික බර සහ අධික තරබාරුකමින් යුත් දරුවන් වැඩි ප්‍රමාණයක් මේ වසරේදී වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. එය ප්‍රතිශතයක් ලෙස 0.94%ක් ලෙස දැක්වෙන අතර, බදුල්ල දිස්ත්‍රික්කයට පසු අධික බර සහ තරබාරු ළමුන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ගම්පහ (0.71%) සහ කොළඹ (0.70%) දිස්ත්‍රික්කවලිනි.
මෙසේ දරුවන්ගේ වැඩි බර සහ අධික තරබාරුකම වැඩිවීමට හේතු ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම දරුවන් සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව නොකිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු නොවීමයි.
එසේම සෞඛ්‍ය වෘත්තියවේදීන් නොවන විවිධ පාර්ශ්වයන් දරුවන්ගේ වර්ධනය සම්බන්ධව සිදුකරන මැදිහත්වීම් ද මෙසේ දරුවන්ගේ අධික බර හා තරබාරුකම වැඩිවීම සඳහා හේතු වී ඇති බව එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.