ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්තෝබර් 24) රේගුවට නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ, ජාතික ආර්ථිකයට බදු මුදල් රැස් කිරීම වැදගත් වුවද, වාහන ගැනුම්කරුවන්ගේ මෙන්ම ආනයන සමාගම්වල යහපත සම්බන්ධයෙන් ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බවයි. එම නිසා, මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයටත් විනිසුරුවරයා දැනුම් දුන්නේය.
රේගුව රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් CG සමාගම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ වන විට රඳවාගෙන සිටින වාහන සමාගම් ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බවයි.