වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ, පොලිස් කණ්ඩායම් හතරක් ඔස්සේ මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
ඊයේ (ඔක්තෝබර් 22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණි. එහිදී වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර, තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණි.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය. පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් සභාපතිවරයාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන් වේ.
මේ අතර, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මිදිගම රුවන්ගේ’ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපල කරයි.
තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්ය.
මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙය දේශපාලන ඝාතනයක් බවය.