ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශය පරාජය කරමින් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කළ ද, කණ්ඩායම තරග වැදුණු ආකාරය පිළිබඳව තමන් කිසිදු ආකාරයක පැහැදීමකට පත්නොවන බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගයට පසුව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේදී අත්පත් කරගත් ප්‍රථම ජයග්‍රහණයයි.
මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5ක් ක්‍රීඩා කළ අතර ඉන් තරග 3ක් පරාජයට පත් විය. ඉතිරි තරග දෙක වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. මෙම ජයග්‍රහණයත් සමඟ සමස්ත ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් ලකුණු සටහනේ 6 වැනි ස්ථානයට පත්ව තිබේ.
තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරය චමරි විසින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය විමසූ පැනයට පිළිතුරු දුන් ඇය, එම මොහොතේ තමන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ පිතිකරනය අධ්‍යයනය කිරීමත් සමඟ එම තීරණය ගත් බව ප්‍රකාශ කළාය.
‘‘අපිට අන්තිම පන්දුවාර දෙකේදී ලකුණු 12ක් ආරක්ෂා කරන්න තිබුණා. ඒකෙදි 49 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරපු සුගන්ධිකා කුමාරි ලකුණු 3කට පන්දුවාරය සීමා කිරීම තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරන්න මම හෝ උදේශිකා ප්‍රබෝදිනී හිටියේ. ඒත් උදේශිකා යෝජනා කළා මම ඒ මොහොතේ හොඳ මට්ටමක හිටපු නිසා ඒ පන්දුවාරය ක්‍රියාත්මක කරන්න කියලා. එතනදි බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හරවලා පහරවල් ගහන්න ඉඩ නොදී පන්දු යවපු නිසා අපිට තරගය ජයගන්න පුළුවන් වුණා’’ යැයි ඇය පැවැසීය.
එසේ වුවද, තමන් කණ්ඩායමේ පිතිකරණය පිළිබඳව කිසිදු ආකාරයක සෑහීමකට පත් නොවන බවත්, සාර්ථක ආරම්භයක් ලබා ගත්තද එය ඉදිරියට පවත්වාගෙන යාමට පිතිකාරිණියන් අසමත් වීම ගැන තමන් කනගාටු වන බවත් ඇයගේ අදහස විය.
පෙරේදා පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 202කට සීමා වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 195ක් පමණකි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය වූ හසිනි පෙරේරා සිය මංගල අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 89ක් රැස් කළ අතර, බංග්ලාදේශය වෙනුවෙන් නායිකා නිගාර් සුල්තානා සහ ශර්මින් අක්තර් අර්ධ ශතක රැස් කළහ.
බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගයේ පරාජයත් සමඟ තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වූ ප්‍රථම කණ්ඩායම බවට පත්විය. ඒ අනුව, කණ්ඩායම් 3ක් මේ වන විට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ඇති පසුබිමක අනෙකුත් කණ්ඩායම් 4ට තරගාවලියේ ඉදිරියට යාමේ අඩු වැඩි වශයෙන් අවස්ථාව පවතියි. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සඳහා අනිද්දා (ඔක්තෝබර් 24) කොළඹදී පැවැත්වෙන පාකිස්තාන තරගය වැඩි දළ ලකුණු වේගයක සහිතව ජය ගත යුතු අතර, නවසීලන්තය සහ ඉන්දියාව එක් තරගයක් බැගින් පරාජයට පත්විය යුතුය. යම් හෙයකින් ශ්‍රී ලංකා තරගයට පෙර සේම වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ශ්‍රී ලංකාවට පවතින අවසාන අවස්ථාව ද අහිමි වේ.