‘ෆෙන්ෂෙන්ග්’ (Fengshen) නම් වූ ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පිලිපීනයේ පැසිෆික් වෙරළ තීරයේ වෙසෙන දහස් ගණන් ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්වීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිලිපීන කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ, ෆෙන්ෂෙන්ග් කුණාටුව පැයට කිලෝමීටර් 90ක පමණ වේගයකින් වෙරළබඩ ප්‍රදේශයට බලපෑම් එල්ල කළ හැකි බවයි.
මෙම කුණාටුවේ බලපෑම පළමුව කැටන්ඩුආස් (Catanduanes) දූපතට දැනෙනු ඇති බව සඳහන් වේ. එම දූපතේ වෙසෙන 270,000ක පමණ ජනතාව අතරින් මේ වන විට පුද්ගලයින් 9,000ක් පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් තිබේ.
තවද, ඇල්බේ (Albay) පළාතේ වෙසෙන 17,000කට ආසන්න පිරිසක් ද කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීම සඳහා ඉවත් කර ඇති බව වාර්තා වේ.
පිලිපීන බලධාරීන් අනතුරුදායක ප්‍රදේශවල ජනතාවට කඩිනමින් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යන ලෙස දැනුම් දී ඇති අතර, ජීවිත හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටී.