2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.
ඔක්තෝබර් 15 වනදා වනවිට නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන අනුව, මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිස ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 396,274ක් ලෙස වාර්තා වේ.
එමෙන්ම එක්සත් රාජධානිය (167,886), රුසියාව (125,950), ජර්මනිය (111,677) සහ චීනය (108,040) යන රටවලින් ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත.
මීට අමතරව ප්‍රංශය (90,250), ඔස්ට්‍රේලියාව (81,040), නෙදර්ලන්තය (53,922) සහ අමෙරිකාව (50,027) යන රටවලින් ද පනස්දහස ඉක්ම වූ සංචාරකයින් මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පසුගිය වසරේ (2024) මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 (2,053,465) ඉක්ම වූ අතර, අවසන් වරට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ 2018 වසරේදීය (2,333,796).
ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 සීමාව ඉක්මවා ඇත්තේ 2016, 2017, 2018 සහ 2024 යන වර්ෂ හතරේදීය.