සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ, රජයේ ප්‍රකාශ තිබියදීත්, ‘සුව සැරිය’ ගිලන් රථ සේවාව තමාගේ පුද්ගලික දේපළක් නොවන බවයි.
මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ, සුව සැරිය සේවාවේ නම හෝ වර්ණය වෙනස් කිරීමට ගනු ලබන ඕනෑම තීරණයකට තමන් සම්බන්ධ නොවිය යුතු බවය.
“සුව සැරිය යනු සන්නාමයකි. අපි එය නිර්මාණය කරන විට, හැකි සෑම චෝදනාවක්ම අපට එරෙහිව එල්ල වුණා. මෙම සන්නාමය ගොඩනැගීම සඳහා කාලය, උත්සාහය සහ සැලකිය යුතු අරමුදල් වැය වුණා. සේවාව පවතින ආකාරයෙන් කිසිදු ගැටළුවක් නැහැ. රජයට එහි නම හෝ වර්ණය හර්ෂගේ දේපළ බව පවසමින් වෙනස් කිරීමට අවශ්‍ය නම්, එය අර්ථ විරහිතයි,” යැයි ඔහු සඳහන් කළේය.
සේවාව දියත් කිරීමේදී මුහුණ දුන් අභියෝග සිහිපත් කළ ද සිල්වා මහතා, මුලින් රෝහල්වල ඉඩ නොලැබීම හේතුවෙන් ගිලන්රථ පොලිස් ස්ථානවල නවතා තැබීමට සිදු වූ බව පැවසීය.
එමෙන්ම, සේවාවේ වර්ධනය පිළිබඳව අදහස් දක්වමින්, ආරම්භයේදී ගිලන්රථ 88ක් වූ සංඛ්‍යාව අද වන විට 475ක් දක්වා වැඩි වී ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.