නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළදී වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූයේ පසුගිය ඔක්තෝබර් 8 වැනිදා පෙරවරුවේ, මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීය.
සිද්ධිය වූ දිනයේ, මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් සහ පුහුණුකරුවෙකුගේ අධීක්ෂණය යටතේ එම හෝටලයේ පිහිණුම් කටයුතු සිදුකරමින් සිට ඇත. එහිදී මෙම දරුවා දියේ ගිලී ඇති අතර, පසුව කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (9) සිදුකළ අතර, කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.
ඒ අනුව, සිද්ධියට අදාළව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් සහ පිහිණුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.