අබුඩාබිහිදී ඊයේ (13) පැවැති ආසියානු කුසලාන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය කඩුලු 06කින් පරාජය කරමින් තරගය ජයගත්තේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පිතිකරණය සඳහා බංග්ලාදේශයට ආරාධනා කළ අතර, පළමු පන්දුවාරයේදී නුවන් තුෂාර බංග්ලාදේශයේ ආරම්භක කඩුල්ල දැවීමෙන් බංගලාදේශ ආරම්භක සබැඳියාව බිඳ දැමීමට සමත් විය. ඊට අමතරව දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග හා කමිල් මිෂාරගේ දක්ශත්වයත් සමග බංග්ලාදේශය මුල් පන්දු 53ක් ඇතුළත කඩුලු පහක් බිඳ දමන්නට සමත් විය.
අවසන් වශයෙන් ජේකර් අලි සහ සමීම් හොසේන්ගෙන් ලැබූ පිති හරඹ හේතුවෙන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තේය.
එමගින් ලකුණු 140ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල, පැතුම් නිස්සංකගේ අර්ධ ශතකය සහ කමිල් මිෂාරගේ නොදැවී ලකුණු 46ක පිටිහරඹය මත පන්දුවාර 14යි පන්දු 04කදී ලකුණු 140ක් ලබා ජය ගත්තේය.
මෙම තරගයෙන් ලකුණු 50ක් ලබාගත් පැතුම් නිස්සංක ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 2,000 කඩඉමට ළඟා වූ තෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්විය.
අබුඩාබි හිදී දෙරට අතර පැවැති මෙය ප්‍රථම විස්සයි විස්ස තරගය වන අතර, මීට පෙර සාජා සහ ඩුබායි හිදී පැවති තරග දෙකද ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ‘B’ කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.