නීතිවිරෝධී ලෙස සර්පයන් රැගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ සංස්කෘතික හා ජාතික උරුම ආරක්ෂණ අංශය ලබාගත් තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුව සිදු වී ඇති බව වාර්තා වේ.
ඇය සර්පයන් 06ක් නීතිවිරෝධී ලෙස ගුවන්තොටුපොළ හරිත මාවත ඔස්සේ රටට ඇතුළු කිරීමට උත්සාහ කරන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නගරයෙන් මිලදී ගෙන ආ ගමන් මලු දෙකක් තුළ සඟවා තිබූ අතර, සැකකාරිය කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බව විමර්ශනවලින් හෙළිවී ඇත.
ඇය රැගෙන ආ සර්පයන් අතර කහ ඇනකොන්ඩා, බෝල් පයිතන්, ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් සහ හොන්ඩියුරානු කිරි සර්පයන් ඇතුළත්ය.
ගවේශණයෙන් අනාවරණය වූයේ, මෙම සර්පයන් අලෙවි කිරීමේ අරමුණින් රටට ගෙන ආ බවයි. කෙසේ වෙතත්, මෙවැනි සර්පයන් වනාන්තර ප්‍රදේශවලට මුදාහරින්නේ නම් මෙරට පරිසර පද්ධතියට දැඩි හානියක් සිදු විය හැකි බව රේගු නිලධාරීන් අවධාරණය කළහ.
ගුවන් යානයකින් ජීව සතුන් මෙලෙස රැගෙන ඒම නීතිවිරෝධී වුවද, අතිශය අනතුරුදායක ක්‍රියාවක් බවද සඳහන් විය. මේ හේතුවෙන් ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන්ට දැඩි අවවාද කර, රේගු විමර්ශනවලින් පසු සර්පයන් ආපසු රැගෙන යන ලෙස නියෝග කර තිබේ.