මිද්දෙණිය – කඩේවත්ත ප්‍රදේශයේදී කජ්ජා නැමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීම මෙන්ම මිද්දෙණිය – තෝරකොළයාය – තේක්කවත්ත ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධීන් තම අනුදැනුම යටතේ සිදුකළ බවට පසුගියදා මෙරටට ගෙන ආ බැකෝ සමන් සහ තැඹිලි ළහිරු නැමැත්තන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
පසුගිය පෙවරවාරි මස 18 වනදා හය හැවිරිදි දියණිය සහ හත් හැවිරිදි පුත්‍රයා සමග යතුරුපැදියකින් යමින් සිටියදී එල්ල වූ වෙඩි ප්රහාරකින් ඝාතනයට ලක්වූයේ අනුර ප්‍රියන්ත හෙවත් කජ්ජා නැමැත්තායි.
එහිදී ඔහු සමග දියණිය ද මියගිය අතර, රෝහල්ගත කීරිමෙන් පසු පුත්‍රයා ද ජීවිතක්ෂයට පත්විය.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ වෙඩිතැබීම සඳහා වෙඩික්කරු සපයා ඇත්තේ තැඹිලි ළහිරු නැමැත්තා වන අතර, සිද්ධිය සැලසුම් කර ඇත්තේ බැකෝ සමන් විසින් බවයි.
දරූන් නැමැත්තෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සිදුකළ බවත්, මොවුන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
එසේම, මිද්දෙණිය – තෝරකොළයාය – තේක්කවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී 26 හැවිරිදි සහ 49 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම තමන් විසින් සිදුකළ බවට තැඹිලි ලහිරු නැමැත්තා පොලිසිය හමුවේ පිළිගෙන තිබේ.
පසුගිය මැයි මස 01 වනදා මෙම ඝාතන සිදුකර තිබූ අතර, ඔවුන්ගේ සිරුර අදාළ ප්‍රදේශයේ පාලු මාර්ගයක තිබී සොයාගනු ලැබිණි.
දුරකතන ඇමතුමක් ලබාදී මියගිය පුද්ගලයින් අදාළ ප්‍රදේශයට ගෙන්වා මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇත.
ඝාතනයට ලක්වූ 39 හැවිරිදි පුද්ගලයා තැඹිලි ළහිරු නැමැත්තාගෙන් මත්කුඩු මිලදී ගෙන මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
මේ වන විට රදවාගෙන ප්‍රශ්න කරන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ මිද්දෙණිය සහ ඇඹිලිපිටිය ප්‍රදේශය වෙත රැගෙන ගොස් තිබුණි.
පසුව ඔවුන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිරිසකගේ නිවාස පරීක්ෂාවට ලක් කළ ද අදාළ පුද්ගලයින් නිවෙස් අතහැර පළාගොස් ඇති බවටයි එහිදී හෙළි විය.
මෙම සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේ රැදී සිටියදී ලබාදෙන තොරතුරුවලට අනුව අදාළ පුද්ගලයින් විසින් ගිනිඅවි සහ මත්කුඩු විවිධ ප්‍රදේශ වෙත රැගෙන යාම සිදුකර ඇති බවටද හෙළිවී ඇත.
කෙසේ වෙතත්, කෙහෙල්බද්දර පද්මේ ඇතුලු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සමග බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වනවිට අතුරුදන් පුද්ගලයින් සිම්පත් ද වෙනස් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.