ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ සෘතුමය රැකියා අවස්ථා ලබා දීම සඳහා වැදගත් පියවර ගෙන තිබේ.ඒ අනුව E-8 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට, දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට මෙම අනුමැතිය ලැබී තිබේ.මෙම ගිවිසුම සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී ඇති අතර, එය මගින් ශ්‍රී ලාංකිකයින්ට මාස 5 සිට 8 දක්වා කෙටි කාලයක් සඳහා යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මානවල සේවය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.අවශ්‍ය ගිවිසුම්වලට එළඹීමෙන් අනතුරුව, සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) මගින් බඳවා ගැනීම් සිදු කරනු ඇත. කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඔවුන් ඉක්මනින් දකුණු කොරියාව බලා පිටත් කිරීමට පියවර ගන්නා බවයි.විශේෂයෙන්ම, මෙම රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් පමණක් බවත්, ඒ සඳහා වෙනත් කිසිදු බාහිර පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබා දීමෙන් වළකින ලෙසත් වික්‍රමසිංහ මහතා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විදේශ රැකියා අවස්ථා පුළුල් වීම මෙන්ම, කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර අංශවල අත්දැකීම් ලබා ගැනීමටද අවස්ථාවක් හිමිවනු ඇත.මෙම අවස්ථාව පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ වන ලෙස ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.