ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු සහ ඔවුන්ගේ ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම මන්නාරමට උතුරින් පිහිටි මුහුදු සීමාවේදීයි සිදු වී ඇත්තේ.
පසුගිය ඉරිදා රාත්‍රියේ උතුරු මැද නාවික විධානය විසින් දියත් කරන ලද විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර බෝට්ටු කිහිපයක් නාවික හමුදා නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, එම බෝට්ටු මන්නාරමට උතුරින් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පලවා හැරීමට පියවර ගත්තා.
මෙම මෙහෙයුම අතරතුර, එක් ඉන්දීය ධීවර බෝට්ටුවක් සහ එහි සිටි ධීවරයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. ඔවුන් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් ධීවර බෝට්ටුව සහ ඉන්දීය ධීවරයින් තලෙයිමන්නාරම ජැටිය වෙත ගෙන එන ලද අතර, වැඩිදුර නීතිමය කටයුතු සඳහා ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාර දී තිබෙනවා.