ශ්‍රී ලංකා පාපැදි ඉතිහාසයේ අමරණීය නාමයක් වූ, රත්නපුරයෙන් බිහි වූ ප්රවීණතම පාපැදි ශූරයා වන ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වේ.
සුමනවීර මහතා, “ලංකා සවාරිය” සහ “ලක් පොහොර පාපැදි සවාරිය” වැනි දිවයිනේ ප්‍රධානතම පාපැදි තරග රැසක් ඇතුළුව, පාපැදි තරග 1000කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් වාර්තා පොත් අතරට එක් විය. විශේෂයෙන්ම, ඔහු පාපැදි ක්ෂේත්රයේ කා අතරත් ප්‍රසිද්ධියට පත් වූයේ “කඳු නැගීමේ ශූරයකු” ලෙසයි. කඳුකර මාර්ගවල ඔහු දැක්වූ අසමසම දක්ෂතා, බොහෝ දෙනෙකුට අභියෝගයක් මෙන්ම ආශ්වාදයක් ද විය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ සුමනවීර මහතා, දිනපතා රත්නපුරයේ සිට කොලොන්නාවේ පිහිටි තම සේවා ස්ථානය වෙත පාපැදියෙන් පැමිණීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී කරුණක් විය. මෙම නොපසුබට අධිෂ්ඨානය සහ කැපවීම ඔහුට “රත්නපුරයේ මිණිකැටය” යන විරුදාවලිය දිනා දුන්නේය.