දෙවුන්දර සහ කළුතර මුහුදු තීරයෙන් වාර්තා වූ ධීවර යාත්‍රා අනතුරු දෙකක් හේතුවෙන් අතුරුදන් වූ ධීවරයින් සොයා ගුවන් හමුදාව මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත. ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක් මෙම සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා තිබේ.
ඊයේ (ජුනි 27) සවස දෙවුන්දර ධීවර වරායෙන් පිටත්ව ගිය යාත්‍රාවක් මුහුදේදී අනතුරට ලක්ව තිබේ. මෙම යාත්‍රාවේ ධීවරයින් පස් දෙනෙකු සිටි අතර, එය වාණිජ නෞකාවක ගැටීමෙන් අනතුර සිදු වූ බවට සැක කෙරේ. එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමට හැකි වූ නමුත්, සෙසු සිව් දෙනා අතුරුදන්ව ඇත. නාවික හමුදාව දැනටමත් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, දැන් ගුවන් හමුදා සහාය ද ඊට එක් වී තිබේ.