දුම්රිය සේවකයන් දහස් ගණනක්, අතිකාල ගෙවීම් කප්පාදු කිරීමට විරෝධය පළ කරමින්, හෙට (ජුනි 25) සවස 4 සිට පැය 48ක දැවැන්ත වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වේ. මෙම වර්ජනයට දුම්රිය මාර්ග හා කර්මාන්ත, සංඥා ඇතුළු උප දෙපාර්තමේන්තු රැසක සේවකයන් එක්වීමට නියමිත බව දුම්රිය සේවක සංගමය පවසයි.
දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.එම්.ඩී අබේරත්න සඳහන් කළේ, මීට පෙර අතිකාල ගෙවීම් පැයකට පැය එකහමාරක් ලෙස සිදු කළද, මේ වන විට එය පැයකට පැයක් ලෙස අඩු කර ඇති බවයි. “මෙය බලවත් අසාධාරණයක්” යැයි ඔහු අවධාරණය කළේය. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිම සේවකයන් පිරිසක් නියෝජනය කරන්නේ දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව වන අතර, සංඥා උප දෙපාර්තමේන්තුවේද ඊට ආසන්න සේවක පිරිසක් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.
වර්තමාන රජය බලයට පැමිණීමට පෙර සිටම ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ දුම්රිය වෘත්තීය සමිතියක් වන දුම්රිය සේවක සංගමය මෙම වර්ජනයට නායකත්වය දෙයි. මෙමගින් රටේ දුම්රිය සේවාවලට බරපතළ බාධා එල්ල විය හැකි බවට අනතුරු අඟවා තිබේ.