රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ රට තුළ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවයි. වේදනා නාශක, ප්‍රතිජීවක, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී රෝග සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් මේ වනවිට දැකිය හැකිය.
GMOA හි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට මධ්‍යම ඖෂධ ගබඩාවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක් පමණ හිඟ වී ඇති බවයි. එපමණක් නොව, රෝහල් පද්ධතිය තුළ ද ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය. වාර්තා වන තොරතුරු අනුව මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව ද වෛද්‍ය විජේසිංහ පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, පිළිකා රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක පසුගිය මාස කිහිපයක සිට විශාල හිඟයක් මතුව තිබීම හේතුවෙන්, පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යම් සීමා කිරීම් ඇති වී ඇති බව ද ඔහු පැහැදිලි කළේය. ඖෂධවලට අමතරව, වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවක ද හිඟයක් සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේය.