එළැඹෙන ජුනි 10 වැනිදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (7) නිවේදනය කළේය. ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ විශේෂ කාලගුණ අනාවැකි නිවේදනයක් මගින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දිවයින හරහා මෙන්ම අවට මුහුදු ප්‍රදේශවල ද විටින් විට හමන තද සුළං තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර, උතුරු සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තද සුළං තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි.