මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ රන්දෝලි අවසන් මහ පෙරහැර ඉන්දිරාජා ඇතු සධාතුක කරඬුව වඩම්මවමින් අද රාත්‍රියේ වීදි සංචාරය කරයි. දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් ගමන් කිරීමට නියමිතය.
මහ පෙරහැර අවසානයේ රාත්‍රි 12.45ට උතුරු දිශාභිමුඛව දන්ත ධාතු මන්දිරයේ පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැරක් සමග පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ රාජමහා විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාරව දළදා කරඬුව තැන්පත් කරනු ලබයි.
අනතුරුව සිව් මහා දේවාල පෙරහැර ආපසු දේවාල වෙත ගොස් දේව පූජා පවත්වා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා තොට වෙත ගොස් දිය කපා ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජා පවත්වයි.
අනතුරුව විසි වැනි දින දහවල් දොළහයි විසිහයට උතුරු දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්.සේනානායක වීදිය, කන්ද වීදිය ඔස්සේ නායකවීදියෙන් දෙකයි එකොළහට උතුරු දිශාභිමුඛව ගොස් ගෙඩිගේ විහාරයෙන් දළදා මන්දිරය වෙත ගමන් කරනු ලබයි. ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දවල් පෙරහැර පැමිණ රජ වීදියෙන් හැරී මාලිගා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂණා කොට පස්වරු පහයි විසි හතට උතුරු දිශාභිමුඛව ගෙවැදීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.කලට වැසි වස්සවා ස්වයංපෝෂිත සශ්‍රීකත්වයෙන් පරිපූර්ණ රටක්, ජනතාවට සෙතක් සලසන දැයක් උදෙසා ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙයි.