ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා වලට අත්සන් තැබීමෙන් පසුව සර්වාගමික ආශිර්වාද ලබාගැනීමට ගිය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ,
ජීවිතයේ කිසිදු කාල පරිච්ඡේදයකදී මා අන්තවාදියෙකු වී නැත. උග්‍ර ආගම්වාදියෙකු හෝ, උග්‍ර ලිබරල්වාදියෙකු හෝ, උග්‍ර මාක්ස්වාදියෙකු හෝ උග්‍ර කොමියුනිස්ට්වාදියෙකු හෝ නොවී මනුෂ්‍යයා වෙනුවෙන් සේවය කරන මානුෂීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මම සදාකල් විශ්වාස කරමි. “ශ්‍රී ලාංකික ජාතිය” නියෝජනය කරන නායකයා වන්නට නම් එහි සියලු ජන කොට්ඨාස වලට ගරු කිරීමටත්, ඔවුන් හා සමගිය සංහිඳියාව පෙරදැරිව කටයුතු කිරීමටත් මා විසින් උගෙන ඇත.
සාන්ත තෝමස් ප්‍රාරම්භ පාසලේදීත්, කොළඹ රාජකීය විද්‍යාලයේදීත් සර්වාගමික සහෝදරයන් සමග මම අධ්‍යාපනය ලදිමි. ශ්‍රී ලංකාවේදී ලද අධ්‍යාපනයෙන් පසුව, මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ පිහිටි මිල්හිල් විද්‍යාලයේදීත්, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේදීත්, ලන්ඩන් විශ්ව විද්‍යාලයේදීත්, ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේදීත් ලොව බොහෝ ජන කොට්ඨාසයන් වල සොයුරු සොයුරියන් සමග මිත්‍රශීලීව කාලය ගත කරන්නට අවස්ථාව ලදිමි. ඉන් මා උගත්තේ, ලොව සෑම ජන කොට්ඨාසයකටම අනන්‍ය වූ, ඔවුන් විසින් සැමරෙන චාරිත්‍ර සහ සංස්කෘතීන් ඇති බව ය. ඒවාට ගෞරව කළ යුතු බව ය.
දිවිමගෙහිදී මෙතෙක් ලද එවැනි අත්දැකීම් වලින් අද නුඹ හමුවේ සිටින “සජිත් ප්‍රේමදාස” නිර්මාණය වී තිබේ. ඉතා සුළුතරයක් ඒ පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කළ ද, ඔවුනට ඔවුන්ගේ මතයක් දැරීමට තිබෙන අයිතියට ද මම ගරු කරමි. ඒ, ඔවුන් සියලු දෙනාද අප විසින් නායකත්වය භාරගන්නා රටේ පුරවැසියන් වන බැවිනි. සියලු දෙනා-සියලු දෙනා කෙරෙහි දක්වන ගෞරවය “ශ්‍රී ලාංකික ජාතිය” ගොඩනැගීමේ කර්තව්‍යයේදී අතිශය වැදගත් කරුණක් බව අවධාරණයෙන් කියන්නට කැමැත්තෙමි.
එබැවින් බෞද්ධ දර්ශනය හදාරන පුද්ගලයෙකු වන මා, බුදු වදන අනුව යමින් අන් සියලු ආගම් වල ශාස්තෲවරුන්ට ද නොඅඩුව ගෞරව දක්වමි. ඒ සියලු ශාස්තෲවරුන්ගේ ආශිර්වාදය යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් අප හට අතිශය වැදගත් ය.