ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) මහජන ගෞරවය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති අතර ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන් මේ වනවිට රෝමය සහ වතිකානය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
ඊයේ රැස්වූ කාදිනල් මඬුල්ල ගත් තීන්දුවකට අනුව පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදුකිරීමට නියමිතව පවතී.
ලබන සෙනසුරාදා දක්වා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරෙන දේහය අනතුරුව ශාන්ත පීතර චතුරස්රයට රැගෙන ගොස් අවමංගල උත්සවය පැවැත්වීමට නියමිතය. පසුව නැවතත් ශාන්ත පීතර බැසිලිකාව තුළට රැගෙන යන දේහය ඉන් අනතුරුව උන් වහන්සේගේ අවසන් ගිමන් ලබන ස්ථානය වන ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවට රිය පෙරහරකින්ය රැගෙන යනු ඇත.
මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල උත්සවය සඳහා ලෝක නායකයින් රැසක් එනම් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුද සහභාගි වන බවට මේ වනවිට තහවුරු කර ඇත. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෙම අවස්ථාවට එක්වන්නේ නැති බව වාර්තා වෙයි.