‘‘ගම්පහ දාපු සෙල්ලම් මෙහෙ දාන්න බැහැ. එහෙම වුණොත් හොඳින් හෝ නරකින් අපි බලාගන්නම්’’ යනුවෙන් පවසමින් කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජන කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට ඊයේ (4 වැනිදා) නියෝග කළේය.
කොටහේන, ගල්පොත්ත හන්දියේ පිහිටි දුරකථන අලෙවි සලක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ආයුධ සෙවීමට මට්ටක්කුලිය කාකදූපත ප්රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී ඔවුන් පොලිස් වෙඩි පහරින් මියයාමේ සිද්ධියෙන් අනතුරුව කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චිට එලෙස මරණ තර්ජන එල්ල වී ඇතැයි පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරාජ වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ දන්වා සිටි අතර කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කරන ලද දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙසට අදාළ දුරකථන සමාගම්වලට නියෝග නිකුත් කරන ලෙස කොටහේන පොලිසියේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම දුරකථන ඇමතුම් විස්තර වාර්තා පොලිසියට ලබාදෙන ලෙස අතිරේක මහෙස්ත්රාත්වරිය අදාළ දුරකථන සමාගම්වලට නියම කළාය.