මෙරට ජාතික ඔලිම්පික් කමිටුවට සිය ආයතනවල සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරන තෙක් අරමුදල් නිදහස් කිරීම ආසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ආසියානු ඔලිම්පික් කවුන්සිලය සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පනවන ලද මූල්‍ය අත්හිටුවීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
ඊට බලපාන ලද හේතුව වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ අසාර්ථක පරිපාලනය සහ විශේෂයෙන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව එල්ල වී ඇති මූල්‍ය විෂමාචාර චෝදනාය.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගේ ඉල්ලීම් නොතකා ආසියානු ඔලිම්පික් කමිටුව එම දැඩි තීරණයේ සිටින බව ද වාර්තා වේ.
පෙබරවාරි 17 දිනැතිව සුරේෂ් සුබ්‍රමනියම් වෙත යොමුකරන ලද ලද ලිපියක ආසියානු ඔලිම්පික් කමිටුව මෙම තීරණය දැනුම් දී තිබේ.
”ක්‍රීඩක ක්‍රීඩිකාවන් පීඩාවට පත්නොවිය යුතු බැවින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔබේ ඉල්ලීම නැවත සළකා බැලීමට ආසියානු ඔලිම්පික් කමිටුව කැමැත්තෙන් සිටී. කෙසේවෙතත්, අප සාකච්ඡා කිරීමට පෙර, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව යොමුකළ ඒකාබද්ධ ලිපිවල නියෝග සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. දූෂණයට සම්බන්ධ අය මුළුමනින්ම ඉවත් විය යුතුය. වර්තමාන හෝ අනාගත කටයුතුවලදී ඔවුන්ට තැනක් නැත.” යනුවෙන් ඔවුන් දැනුම් දී තිබේ.