ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මානව සම්පත් – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වන තිළිණ තරංග හිරිපිටිය මහතාට සේවයෙන් ඉවත් වන ලෙස එහි නව සභාපති ලෙස පත් වූ නුසිත් කුමාරතුංග විසින් බලපෑම් සිදු කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත පසුගිය දෙසැම්බර් 22 වන දින පැමිණිල්ලක් සිදු කර ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ උසස් වීම් ලබා දීම් ප්‍රමාද වීමට අදාළ ගැටලුව නිරාකරණ ක්‍රියාවලියේදී තමාගේ සහ ප්‍රධාන විධායක නිලධාරිගේ අත්සන් සහිතව සභාපතිවරයාට යොමු කර තිබූ ලේඛන සම්බන්ධයෙන් වැරදි මතයක එබී සභාපතිවරයා දෙසැම්බර් මස 12වැනි දින “අද සිට සේවයෙන් ඉවත් වී ගෙදර යන ලෙස” තමාට බලපෑම් කළ බව එහි සඳහන් කර ඇත.
නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමට සභාපතිවරයාට හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
එසේම නුසිත් කුමාරතුංග විසින් සංස්ථාවේ මූලික වගවීම්වලින් බැහැරව සිය කටවචනයේ බලයෙන් නියෝග ක්‍රියාත්මක කරන මෙන් බලපෑම් කරන බවත් එම නිසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ කණ්ඩායම ඉතා අපහසුතාවකට පත් වී ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත. ( “අනිද්දා” පුවත්පත )