ඇප ලබා සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහව ඉතා ඉක්මනින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම වැදගත් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු බැවින් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇත.
ඒ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය බෙල්ලන,
“ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ් නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා.එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි.”
මේ අතර, ඇපමත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින කිහිපය තුළ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට අපේක්ෂා කරන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
එමෙන්ම එම කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට නියමිත බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පැදරවීම සඳහා එක් වූ සියලුදෙනාට ස්තූතිය පල කරන බවඳ එහි වැඩිදුරටත් සඳහන් වෙයි.