පසුගිය නොවැම්බර් මාසයේ අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රම වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි. එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම ස්වභාවික ආපදාව හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000කගේ පමණ රැකියා අවස්ථා අහිමි වී තිබේ.
සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වර්ෂාව, දරුණු ගංවතුර තත්ත්වය සහ නායයෑම් හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන, කෘෂිකාර්මික බිම් සහ කර්මාන්තශාලා රැසකට හානි සිදු විය. මෙම තත්ත්වය පුද්ගලික මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ද ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, රැකියා අහිමි වීම හේතුවෙන් සිදුව ඇති මාසික මූල්‍ය පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 48ක් දක්වා ඉහළ අගයක් ගන්නා බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇස්තමේන්තු කර ඇත.
විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ දෛනික වැටුප් ලබන ශ්‍රමිකයන් මෙම රැකියා කප්පාදුවට හෝ අහිමි වීමට වැඩි වශයෙන් මුහුණ දී සිටින බව වාර්තාව පෙන්වා දෙයි. ආපදාවට ලක් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් නොවීම සහ නිෂ්පාදන කටයුතු අඩාල වීම නිසා බොහෝ පිරිසකට සිය ජීවනෝපාය මාර්ග කරගෙන යාමට නොහැකි වී තිබේ.