හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙන් කර තිබූ වෙඩි නොවදින රථය ඇතුළු නිල වාහන කිහිපයක් නැවත භාරදීමට කටයුතු කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසුව, ජනාධිපති ලේකම්වරයාගේ නියමයෙන් මෙම වාහන ඉවත් කර ගැනීමට සිදුවූ බවයි.
ගමගේ මහතාගේ ප්‍රකාශයට අනුව, සැප්තැම්බර් 24 වන දින ජනාධිපති ලේකම්වරයා විසින් පස්වන විධායක ජනාධිපතිවරයාගේ නිල වාහන සියල්ල සහ නිල නිවස යළි භාරදෙන ලෙස දැනුම් දී තිබුණි. ඒ අනුව, ඊයේ (ඔක්තෝබර් 03) දින අදාළ සමාගම හරහා වෙඩි නොවදින රථය මෙන්ම, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් ගමන්ගත් රථයද භාරදීමට කටයුතු කර ඇත.
මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බව ගමගේ මහතා දැඩිව අවධාරණය කරයි.
ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ, “අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි සතියේදී පොලිස්පතිතුමා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ප්‍රධානීන් හමුවෙලා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් එම අවශ්‍ය රථ යළි ලබාගැනිමේ ඉල්ලීමක් කරන්න” යනුවෙනි.