ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණට අයිතිව සිටි ප්‍රථම ස්ථානය අහිමිව තිබේ. ඒ සමග දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා කේෂව් මහරාජ් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත් ව තිබේ.
මෙම වෙනසට හේතුව වූයේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගාවලියේ ප්‍රථම තරගයයි. එහිදී දකුණු අප්‍රිකාව ලකුණු 98ක ජය ගත්ත අතර, කේෂව් මහරාජ් ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් තම එක්දින දිවියේම හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහුගේ මෙම දක්ෂතාවය ඔහුට එක්දින තරගයක කඩුලු 5ක් ලබාගත් පළමු අවස්ථාවත් විය.
මෙම ජයග්‍රහණය හා විශිෂ්ට කාර්ය සාධනයට අනුව මහරාජ් ප්‍රසාද ලකුණු 687ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණි අතර, මෙතෙක් ලකුණු 671ක් සමගින් ප්‍රථම ස්ථානයේ සිටි මහීෂ් තීක්ෂණ දෙවැනි ස්ථානයට පහළ ගියේය.
කේෂව් මහරාජ් 2023 වසරේද එක් වරක් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණ තිබුණත්, එම වසරේ ලෝක කුසලානයේදී ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ගේ දක්ෂතාව හේතුවෙන් ඔහුට එම ස්ථානය අහිමි වී තිබුණි.