මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ලංකාවේ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා. ඔහුගේ අරමුණ වුණේ ජනතාවගේ අනවශ්‍ය බිය දුරු කිරීමයි.
ඇමතිවරයා අවධාරණය කළේ අගෝස්තු අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග පවතින බවත්, දෙසැම්බර් මාසය දක්වා අවශ්‍ය සැපයුම් සඳහා දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇති බවත්. ඔහු කියා සිටියේ ලංකාවට තෙල් එන්නේ යුද කලාපවලින් නොව, ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රටවල් හරහා බැවින් කිසිදු ගැටලුවක් නොමැති බවයි. ඒ නිසා, අනවශ්‍ය ලෙස තෙල් ගබඩා කර නොගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, මේ ව්‍යාජ ප්‍රවෘත්ති නිසා ඇතැම් පිරිස් තෙල් ගබඩා කිරීමට පටන් ගැනීමත් සමඟම බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, රජය මෙවැනි ප්‍රකාශ කරමින් ජනතාව සන්සුන් කිරීමට උත්සාහ කළත්, මීට පෙරද මෙවැනි අවස්ථාවලදී ඇති වූ අත්දැකීම් හේතුවෙන් ජනතාව තුළ යම් සැකයක් පවතින බවයි. ව්‍යාජ ප්‍රවෘත්ති ලෙස හඳුන්වන දේට ජනතාව මෙතරම් ප්‍රතිචාර දක්වන්නේ ඇයිද යන්න පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බව ඔවුන්ගේ මතයයි.