රටේ ලුණු හිඟයක් නොමැති වුවද, වෙළඳපොලේ ලුණු මිල අනවශ්‍ය ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හේතුවෙන්, මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කරයි. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ පාර්ලිමේන්තුවේදී පැවති අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට ජනතාවට හිඟයකින් තොරව ලුණු ලබාගත හැකි වුවද, ඇතැම් වෙළෙන්දන් වැඩි ලාභ අපේක්ෂාවෙන් මිල ඉහළ දමන බවට තොරතුරු ලැබී ඇති බවයි. ඔහු සඳහන් කළේ, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, අවශ්‍ය වුවහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය සූදානම් බවයි.
මෙම ගැටලුව සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස අමාත්‍ය සමරසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. පාරිභෝගිකයින් සූරාකෑම වැළැක්වීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සාධාරණ මට්ටමක පවත්වා ගැනීම රජයේ අරමුණ බව මෙහිදී අවධාරණය විය. මෙම තීරණය මගින් ලුණු මිල ඉහළ දැමීම පාලනය කර, පාරිභෝගිකයින්ට සහනයක් සැලසීමට අපේක්ෂා කෙරේ.