සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එරට අනුග්‍රහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය උපුටා දක්වමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් මත එය රැකියා හෝ පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර නොලැබෙනු ඇත. කෙසේ වෙතත් අනුග්‍රහයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කර ඇති අතර ඒ අනුව මිට පෙර අය කළ බහරේන් ඩිනාර් 60 ක ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළ නංවා තිබේ.
මිට පෙර 2024 පෙබරවාරි මස 13 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබිණි.
ඒ අනුව මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මේ වසරේ ජනවාරි 14 වන දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙන අතරම ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු, අනුග්‍රහකයෙකු නොමැතිව බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක්, රැකියා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර නොලැබෙනු ඇත.
මෙම තත්ත්වය මත බහරේනයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සංචාරක වීසා භාවිතා කරමින් එරට විශාල ප්‍රමාණයක් සිටින බව තානාපති කාර්යාලය නිරීක්ෂණය කර තිබේ. තානාපති කාර්යාලය සදහන් කළේ සංචාරක වීසා මගෙන් බහරේනයට පැමිණ එරට වැඩිකාලයක් රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තානාපති කාර්යාලයට ඉල්ලීම් ලැබෙමින් පවතින බවයි.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මොනයම් හේතුවක් මත හෝ සංචාරක වීසා උපයෝගි කොටගෙන අනුග්‍රහකයෙකු නොමැතිව හා කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව බහරේනයේ රැකියා ලබාගැනීමට විදේශ ගත නොවන ලෙස කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.