ඉදිරි පැය 24 ක කාලය සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක පමණ තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස දන්වා ඇත.
මීට අමතරව ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ද මෙවැනි තද සුළං තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.