රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම තීරණය, නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත ක්‍රියාත්මක වන බව, අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා දැනුම් දී ඇත.
නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතුය.
දැනට දේශීය හෝ විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන්ට, ඔවුන්ට අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතී.
දැනට නිවාඩු සඳහා අනුමැතිය ලබා, නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට ද අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතී.
විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති, සියලු අවශ්‍යතා සපිරූ නව නිවාඩු අයදුම්පත්‍ර හා නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර සඳහා නව චක්‍රලේඛයෙන් බලපෑමක් සිදු නොවන අතර ඒවා සලකා බලනු ඇත.
දේශීය නිවාඩු සඳහා ඉදිරිපත් කර ඇති නිවාඩු අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොවේ.
මෙම පියවර මගින්, 2022 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි වසර 5ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසා දුන් පෙර චක්‍රලේඛයේ විධිවිධාන යටතේ නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.