උදා වූ 2026 නව වසර වෙනුවෙන් සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, පවතින අන්ධකාරය පළවා හැර සැබෑ ජයග්‍රහණයේ රිදී රේඛාවන් සොයා යාමට සමස්ත ජාතියම තිර අදිටනින් යුතුව අත්වැල් බැඳගත යුතු බවයි. රටක් ලෙස අප ඉදිරියේ ඇති දුෂ්කරතා මඟහැර යශෝරාවය නැගෙන ජයග්‍රහණයක් කරා යන ගමන ගිරි දුර්ගයක් තරණය කිරීමක් බඳු අභියෝගාත්මක කාර්යයක් බව ඔහු පෙන්වා දෙයි.
සිය සුබපැතුම් පණිවිඩය මඟින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, හුදු පුද්ගලික අභිලාෂයන්ගෙන් ඔබ්බට ගොස් සාමූහික ප්රයත්නයක් ලෙස මව්බිම ලෝකය ඉදිරියේ ඉහළින්ම ඔසවා තැබිය යුතු බවයි. ජාතියේ අනාගතය සුබවාදී කිරීමට නම් එම සාමූහික කැපවීම සහ නොසැලෙන වීර්යය අත්‍යවශ්‍ය වන බව ඔහු සඳහන් කරයි.
එළඹෙන වසර සියලු දෙනාට නව බලාපොරොත්තු මල්පල ගැන්වෙන සහ අභියෝග ජය ගන්නා සාර්ථක වසරක් වේවායි ප්‍රාර්ථනා කරන සජිත් ප්‍රේමදාස මහතා, ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් රටේ අභිවෘද්ධිය උදෙසා සිය වගකීම අඛණ්ඩව ඉටු කරන බව ද සිය පණිවිඩය මඟින් සහතික කරයි.