ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද (සැප්තැම්බර් 22) සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරමින්, ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සහභාගී වීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.
විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පසුගිය සැප්තැම්බර් 4 වන දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, එය මේ වන විට දින 17ක් පුරා ක්‍රියාත්මක වේ. ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, සේවකයින්ට ඇති වී තිබෙන අපහසුතා, හිඟ දිරි දීමනා සහ ප්‍රමාද වී ඇති උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් මුල් කරගනිමිනි.
වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, සිය ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන්ගෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම පියවර ගැනීමට සිදුවූ බවයි. මෙය විදුලිබල මණ්ඩලයේ ඉදිරි කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට විශ්වාස කෙරේ.