ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ කාර්යාංශ නිලධාරි එරික් මේයර්ව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනෙට් සභාවට යෝජනා කර ඇති බව ධවල මණ්ඩල ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශ අධීක්ෂණය කිරීම ඔහු වෙත පැවරී ඇති මුඛ්‍ය වගකීම වේ.
නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නේටෝවේ නවතම සාමාජික රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්ජේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කර ඇති එරික් මේයර් කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියද හිමිකර ගෙන ඇති අයෙකි.