හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 39ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ “තොටළඟ කන්නා” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (11) තීරණය කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ලබා දුන්නේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. විනිසුරුවරයා විසින් විත්තිකරු වහාම අත්අඩංගුවට ගෙන දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් ද නිකුත් කර තිබේ.
නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් “තොටළඟ කන්නා” නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ, 2014 වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇළකන්ද ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේය.
නඩු විභාගය පැවැත්වෙන අතරතුර ඇප මත නිදහස්ව සිටි විත්තිකරු අධිකරණය මගහැර පලා යාම හේතුවෙන් ඔහු නොමැතිව නඩු විභාගය පවත්වා ඇත. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවයි.