පාකිස්තානයට එරෙහිව අද (ජනවාරි 7) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි-20 තරගයේදී නවක ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරුන් තිදෙනෙකු සිය ජාත්‍යන්තර මංගල ගමන ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමක් බවට පත්ව තිබේ.
මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස රවීන්ද්‍ර කොට්ටහච්චි සහ චාමර ද සොයිසා ප්‍රථම වතාවට ජාත්‍යන්තර පිරිමි තරගයකදී කටයුතු කරනු ලබයි. රවීන්ද්‍ර කොට්ටහච්චි මහතා මීට පෙර අන්තර්ජාතික කාන්තා එක්දින සහ විස්සයි-20 තරග 10ක අත්දැකීම් සහිත විනිසුරුවරයෙකු වන අතර, ඔහු 2006 වසරේ සිට පළමු පෙළ විනිසුරුකරණයේ නිරතව සිටින්නෙකි.
ඔහුගේ සහකරු ලෙස කටයුතු කරන චාමර ද සොයිසා මහතා 1994 සිට 2012 දක්වා ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු 2024 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේදී දක්ෂතම දේශීය විනිසුරුවරයා ලෙසද පිදුම් ලැබීය.
මීට අමතරව, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග දෙකකට ක්‍රීඩා කර ඇති හිටපු ක්‍රීඩක හේමන්ත බොතේජු මහතා මෙම තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිය ජාත්‍යන්තර විනිසුරු දිවිය ආරම්භ කරයි.