රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ, එළඹෙන 2025-2026 සිරිපා වන්දනා සමය ආරම්භ වීමට පෙර ශ්‍රී පාද මළුව අවට වන්දනාකරුවන් විසින් බැහැර කර තිබූ කසළ ඉවත් කිරීමේ මෙහෙයුමක් යුද හමුදාවේ කොමාන්ඩෝ භටයින් විසින් අද (නොවැම්බර් 25) ආරම්භ කරන ලදී.
“දැකුම්කළු දිවයිනක් – සොම්නසින් පිරි ජනතාවක්” යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මග පෙන්වීම යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක කෙරේ.
කොමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිරිපා මළුව වටා සහ කන්දේ ළංවීමට අපහසු ස්ථානවල එක්රැස් වී ඇති දිරන සහ නොදිරන ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු කසළ එක් රැස් කිරීම අද සිට (නොවැම්බර් 29) දක්වා සිදු කෙරේ.
එක් රැස් කරන ලද එම කසළ නොවැම්බර් 29 වැනි දින ත්‍රිවිධ හමුදාවේ සහ ස්වේච්ඡා කණ්ඩායම්වල සහාය ඇතිව “විශේෂ ශ්‍රම මෙහෙයුම”කින් නල්ලතන්නිය දක්වා රැගෙන ඒමට නියමිතය.
යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම සංවේදී පාරිසරික පද්ධතිය නැවත පොලිතීන් හා ප්ලාස්ටික්වලින් දූෂණය වීම වැළැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය සැලසුම් කර ඇත.
ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලීසියේ නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඊට අමතරව, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් සංවිධාන එක්ව සිදු කරන මහජන සහභාගීත්වය සහිත එක්දින ශ්‍රමදාන වැඩසටහනක් නොවැම්බර් 29 වැනි දින රත්නපුර සහ හැටන් යන ශ්‍රී පාද මාර්ග දෙකම ආවරණය වන පරිදි සිදු කිරීමට නියමිතය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව, 2025-2026 වන්දනාවාරයේදී ලීටරයට වඩා අඩු ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරීම සහ රැගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.