නත්තල් උත්සවය සහ වසර අවසාන නිවාඩු සමය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් හෙට (24) සිට විශේෂ අමතර බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. මෙම විශේෂ ප්‍රවාහන සේවාව හෙට සිට එළැඹෙන 27 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා අද (23) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය. පවතින උත්සව සමය තුළ දුම්රිය පහසුකම් සීමා සහිත වීම සහ මගීන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජනතාවට බාධාවකින් තොරව සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ අනුව කොළඹ කොටුව සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ සෑම ප්‍රදේශයක් වෙතම අමතර බස් රථ ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් වැඩි බස් රථ සංඛ්‍යාවක් යෙදවීමට ඩිපෝ බලධාරීන්ට උපදෙස් දී ඇති බව ද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
උත්සව සමය අවසානයේ යළි කොළඹ බලා පැමිණෙන මගීන් වෙනුවෙන් ද එළැඹෙන සතියේදී මෙවැනිම විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ හරහා පෞද්ගලික බස් රථවල සිදුවන අධික තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.