ස්කොට්ලන්තයේ ජාතික සෞඛ්‍ය සේවා ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයක් නිර්මාණය කරමින් එරට නේවාසික වෛද්‍යවරුන් දැවැන්ත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. මෙය ස්කොට්ලන්ත ජාතික සෞඛ්‍ය සේවය තුළ මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කෙරෙන පළමු අවස්ථාව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වෛද්‍යවරුන් මෙම දැඩි තීරණයට එළඹ ඇත්තේ සිය වැටුප් ව්‍යුහය 2008 වසරේ පැවති මට්ටමට යථා තත්ත්වයට පත් කිරීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා කරමිනි. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර පැවති රහස් ඡන්ද විමසීමේදී 92%ක අතිවිශාල බහුතරයක් වර්ජනය සඳහා සිය කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි.
නිල නිවේදනවලට අනුව මෙම වැඩ වර්ජනය 2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා පෙරවරු 07:00 සිට ජනවාරි 17 වන සෙනසුරාදා පෙරවරු 07:00 දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිතව ඇත. මේ හේතුවෙන් එරට රෝහල් පද්ධතියේ දෛනික කටයුතුවලට සහ සායනික සේවාවන්ට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ස්කොට්ලන්ත සෞඛ්‍ය ලේකම් නීල් ග්‍රේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ වෛද්‍යවරුන් ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවයි. කෙසේ වෙතත්, රෝගී සත්කාරක සේවාවන් බිඳ වැටීම වැළැක්වීම සඳහා පවතින විසඳුම් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ.