රෝග පූර්ව හඳුනා ගැනීම, ප්‍රතිකාර සඳහා යොමු කිරීම, නිරීක්ෂණ යටතේ තබා ගැනීම සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කිරීම සඳහා ජනතාවට සමීප නව සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 26 වැනිදා සිට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යස්ථාන 10 ක් ආරම්භ කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම අදහස් ඔහු ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැති “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනට එක්වෙමින්ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මේ වසර තුළ සෞඛ්‍ය මධ්‍යස්ථාන 100කට මුල්ගල් තැබීමට කටයුතු කරන අතර, වසර තුනක් තුළ දහසකට ආසන්න සුවතා මධ්‍යස්ථාන මගින් ජනතාවට සේවය සැපයීමට බලාපොරොත්තු වන බවය.
තවද, වර්තමානයේ ප්‍රධාන අභියෝගය බෝ නොවන රෝග බවද, ඒවාට පිළියම් සොයමින් සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම සහ ජංගම සායන පැවැත්වීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා දැක්වූ තවත් කරුණක් වන්නේ, බෝ නොවන රෝගවලින් පීඩාවට පත් බොහෝ දෙනා පරීක්ෂණයට යොමුවූවත්, ප්‍රතිකාර ලබාගැනීම සහ ඒවා අඛණ්ඩව නිරතවීමේදී අඩු ගණනක් පමණක් සම්බන්ධ වීම බවය.
ඉදිරි වසර කිහිපයකින් මෙරට ජනගහනයේ 25%ක් වැඩිහිටි ජනතාව බවට පත්වන බැවින්, ඔවුන්ගේ පෝෂණ තත්ත්වය, මානසික සෞඛ්‍යය සහ ග්‍රාමීය මට්ටමින් සෞඛ්‍ය සේවා ලබාදීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා අවසන් වශයෙන් සඳහන් කළේය.