කොමිස් මුදල් මත භාණ්ඩ ආනයනය කර බෙදාහරින, “අලුත්ම අතරමැදි ව්‍යාපාරික පන්තියකට” වාසි සැලසෙන ලෙස ආහාර ද්‍රව්‍ය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා දේශීය ගොවියා අන්ත අසරණ වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
මාතලේ පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ, මාතලේ, අනුරාධපුර සහ පොළොන්නරුවේ බී ලූණු ගොවියා අන්ත අසරණ කරමින් බී ලූණු මිලදී නොගන්නා තත්ත්වයක් පවතින බවය.
බී ලූණු අස්වනු නෙලීමට පෙර සෑම වසරකම රජය විසින් පනවනු ලබන විශේෂ ආනයන බද්ද නිසි වේලාවට පැනවීමට වෙළඳ හා මුදල් අමාත්‍යාංශය මැදිහත් නොවීම මීට හේතුව බව ඇය පෙන්වා දෙයි.
2024 වසරේ මුල් මාස අට තුළ මෙට්‍රික් ටොන් 73,332ක් වූ ලොකු ලූණු ආනයනය, 2025 වසරේ මුල් මාස අට තුළ මෙට්‍රික් ටොන් 144,551ක් දක්වා ඉහළ ගොස් තිබේ.
- “ගිය වසරට වඩා දෙගුණයක් බී ලූණු ගෙන්වන කල් ආණ්ඩුව නිකං බලාගෙන හිටියා. තවත් මාස 7කට සෑහෙන ලොකු ලූණු තොග දැන් ලංකාවේ තියෙනවා. ඒ නිසා ගොවියාගේ අස්වැන්න මිලදී ගන්නේ නෑ. කුණු වෙනවා. පැල වෙනවා” යැයි මන්ත්‍රීවරිය චෝදනා කළාය.
- 2024 මුල් මාස හය තුළ මෙට්‍රික් ටොන් 223,144ක් පමණක් ආනයනය කළ සීනි, 2025 මුල් මාස හය තුළ මෙට්‍රික් ටොන් 343,416ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ඇඹිලිපිටියේ සිට අම්පාර දක්වා උක් ගොවියාට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීමයි.
- වැලිමඩ – නුවරඑළිය අර්තාපල් අස්වනු නෙලීම ආරම්භ වන තුරු රජය විශේෂ ආනයන බද්ද පැනවූයේ නැත. අද කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අල මිල රුපියල් 170ක් වන අතර, මිලදී ගැනීමට වෙළෙන්දන් නොමැති බැවින් දේශීය අර්තාපල් අස්වැන්න විනාශය කරා යන බව ඇය ප්‍රකාශ කළාය.
මෙම තොග ආනයනය කර ඇත්තේ සාම්ප්‍රදායික ආනයනකරුවන් නොව, මෙම වසරේ කොමිස් පදනම මත ව්‍යාපාරයට පිවිසි ‘නව අතරමැදියන්’ පිරිසක් බවට මන්ත්‍රීවරිය චෝදනා කරයි.
රජයේ ආහාර බදු පැනවීම් පිළිබඳ රහසිගත තොරතුරු මෙම නව අතරමැදි ව්‍යාපාරික පන්තියට පමණක් ලැබෙන බවත්, ඔවුන් අධික ලාභ ලැබීමට සීමාවක් නැතිව ලොකු ලූණු, සීනි, අර්තාපල්, උඳු ආනයනය කිරීමෙන් දේශීය ගොවියා විනාශයට යන බවත් රෝහිණී කවිරත්න මහත්මිය අවධාරණය කළාය. මෙම අර්බුදය ආණ්ඩුවේ බලධාරීන් සිතා මතා ආර්ථික වාසි ලැබීමට සිදු කළ “උප්පරවැට්ටියක්” බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.