පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී තිබූ හැටන්-කොළඹ ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් ඉවත් කිරීමෙන් පසු රථ වාහන ධාවනය සඳහා එක් මංතීරුවක් විවෘත කර තිබේ. කෙසේ වෙතත්, පස් කඳු ඇති ස්ථානවල රථ වාහන නතර නොකරන ලෙසත්, එම ස්ථානවල පයින් ගමන් කිරීමෙන් වළකින ලෙසත් හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
ඊට හේතුව ලෙස පොලීසිය පෙන්වා දෙන්නේ, එම ස්ථානවල පස් කඳු යළිත් කඩා වැටීමේ අවදානමක් පැවතීමයි.
මාර්ග තත්ත්වය:
හැටන්-කොළඹ මාර්ගය: නුවරඑළිය සහ නාවලපිටිය දක්වා රථ වාහන ධාවනයට මාර්ගය විවෘත කර ඇත.
නාවලපිටිය-ගම්පොළ මාර්ගය: ගල් බෝක්කුව ප්රදේශයේ කැඩී ගිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලබයි.
ගම්පොළ-නුවරඑළිය මාර්ගය: කොත්මලේ රම්බොඩ ගැරඬි ඇල්ල ප්රදේශයේ මාර්ගයේ විශාල කොටසක් නාය ගොස් ඇති බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය සිදු කළ නොහැක.
කොත්මලේ සහ වළපනේ පිවිසුම් මාර්ග: මෙම ප්රදේශවලට පිවිසෙන මාර්ග සම්පූර්ණයෙන්ම නාය ගොස් ඇති නිසා, ඒවා ප්රතිසංස්කරණය කරන තෙක් රථවාහන ගමනාගමනය ඇනහිට ඇති බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය කියා සිටියාය.