රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විදේශ පාලන සමයන්හිදී පවා බුදුදහම ආරක්ෂා කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබූ බව පෙන්වා දුන් ඒ මහතා, වත්මන් පාලකයන්ටද එම වගකීමෙන් බැහැර විය නොහැකි බව අවධාරණය කළේය. ගාල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, විහාර දේවාලගම් පනත මගින් විහාරස්ථාන සහ දේවාල සතු දේපළවල අයිතිය නීත්‍යානුකූලව තහවුරු කර ඇති බව සිහිපත් කළේය. විහාරස්ථානවලට හෝ දේවාලවලට බැතිමතුන් පූජා කරන රන් භාණ්ඩ ඇතුළු සියලු දේපළවල අයිතිය එම ආයතන සතු බවත්, එවැනි දේපළ සම්බන්ධයෙන් අනිසි මැදිහත්වීම් සිදු කිරීම රටේ යහපතට හේතු නොවන බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.