රජය විසින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට එක්සත් රාජධානියේ පදිංචි රිචර්ඩ් වුඩ් යුවළ විසින් ස්ටර්ලින් පවුම් 2,000 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ පදිංචි මෙම යුවළ, සිය පරිත්‍යාගයට අදාළ ලදුපත සහ විශේෂ ලිපියක් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහය දැක්වීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදු කළ බව රිචර්ඩ් වුඩ් යුවළ සිය ලිපිය මගින් පෙන්වා දී ඇත. පසුගිය නත්තල් සහ නව වසර සමයේ සති තුනක කාලයක් මෙරට සංචාරය කළ තමන්ට, ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, ජනතාවගේ උසස් මානව ගුණාංග සහ මෙරට රසවත් ආහාර පිළිබඳව ඉතා ධනාත්මක හැඟීමක් ඇති වූ බවද එම ලිපියේ සඳහන් වේ.
සුළි කුණාටුවෙන් රටට හානි සිදුවුවද, ශ්‍රී ලංකාව ඉතා ශක්තිමත්ව නැවත නැගී සිටින ආකාරය සිය සංචාරයේදී පැහැදිලිව දැකගත හැකි වූ බව රිචර්ඩ් වුඩ් යුවළ වැඩිදුරටත් සඳහන් කර ඇත. ඉදිරියේදී තම අසල්වැසියා වන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව පවසා ඇති එම යුවළ, එළඹෙන ශ්‍රී ලංකාවේ ජාතික දිනය වෙනුවෙන්ද සිය සුබ පැතුම් එක් කර තිබේ.