රක්ෂිත බන්ධනාගාරගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ Zoom ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මේ වන විට ඔහුට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගය ආරම්භ වී තිබෙන අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, සැකකරුට ඇප ලබා දීමට විරුද්ධ බව සඳහන් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න ඇතුළු පිරිසක් මේ වන විට අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටියි.
එහිදී, ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින්, ප්‍රථමයෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවයි.
මේ සම්බන්ධව සිදු කළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින්, ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදු කළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපති නීතිඥ තිලක් මාරපන වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි හතරෙන්, තුනක් අවහිර වී ඇති බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කරයි.
එමෙන්ම, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා කලක පටන් වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මියයාමක් මෙන්ම පෙණහලු ආසාදනයක්ද මේ වන විට පෙන්නුම් කරන බවය.