ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීත්වය යළි තීව්‍ර කරමින්, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එම පක්ෂයේ වැදගත් තනතුරු කිහිපයකට අද දින පත් කර තිබේ. ඒ අනුව බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායකවරයා ලෙසත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසත් ඒ මහතා පත් කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපි පක්ෂ මූලස්ථානයේදී ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතින් ලබාගෙන ඇත.
මෙම පත්වීම විශේෂ අවධානයට ලක්වන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී රමේෂ් පතිරණ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් පක්ෂයේ පොදු තීරණයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙනි. එසේ තිබියදී ඔහු යළිත් පක්ෂයේ ප්‍රධාන වගකීම් භාරගැනීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ.
රමේෂ් පතිරණ මහතා සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන සභාපතිවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් ද අද දින සිය සහයෝගය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ යළි එක්වීම විශේෂත්වයකි. මෙම පිරිස පක්ෂ ජාතික සංවිධායකවරයා හමුවී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.