තමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර පැවැත්වීමට සැලසුම් කළ සාකච්ඡා අත්හිටවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
යුක්රේනය සමඟ පවතින ගැටුම් නතර කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, කාලය නාස්ති කිරීමේ හමුවීමක් සිදු කිරීමට තමාට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ඉදිරියේදී තමා සහ රුසියානු ජනාධිපති අතර හමුවක් සඳහා කිසිදු සැලැස්මක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
රුසියානු – යුක්රේන සාමය වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති සහ අමෙරිකානු ජනාධිපති අතර හමුවක් මේ සතිය තුළ හංගේරියාවේදී පැවැත්වීමට මීට පෙර නිවේදනය කර තිබුණි.
එම හමුවට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර සාකච්ඡා සූදානම් කිරීමේ හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එම සාකච්ඡා ද අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.